Skip to main content
වෙසක් පුර පසළොස්වක පොහොය

Swiss Mahavihara විසිනි

වෙසක් පුර පසළොස්වක පොහොය

දහම් කරුණු වෙත ආපසු

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යනු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය හා උතුම්ම ආගමික මංගල්‍යයයි. බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිදුවූයේ මෙම අභිමන් පූජිත දිනයේදී බැවින් බෞද්ධයන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් තම ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිති.

වෙසක් පෝය යනු කුමක්ද?

වෙසක් යනු බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධානතම අවස්ථා තුන වන උපත, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල එකම දිනයකදී සමරනු ලබන උතුම්ම පුණ්‍ය උත්සවයයි. වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ මෙම සිදුවීම් සමරමින් ලොව පුරා බෞද්ධයෝ ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් එකතු වෙති.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය

කපිලවස්තු පුරයේ සුද්ධෝදන රජතුමාට සහ මහාමායා දේවියට දාව ලුම්බිණි සල් උයනේදී සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය. උන්වහන්සේගේ මෙම ජන්ම ලාභය මුළු මහත් ලෝකයටම උතුම් සත්‍යයේ සහ අලෝකයේ අරුණළු රැගෙන ආවේය.

සම්බුද්ධත්වයට පත්වීම

සංසාර දුකෙන් ලෝකයා මුදවාලනු පිණිස ගිහි සැප අතහැර අවුරුදු හයක් පුරා දැඩි දුෂ්කරක්‍රියා කළ සිද්ධාර්ථ තාපසයන් වහන්සේ, ගයා ශීර්ෂයේ පිහිටි උතුම් ජය ශ්‍රී මහා බෝධි මූලයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ ද වෙසක් පොහොය දිනකය.

පරිනිර්වාණය

අවුරුදු 45 ක් මුළුල්ලේ ලෝ සතට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් අසීමිත සේවයක් ඉටුකළ තථාගතයන් වහන්සේ, වයස අවුරුදු 80 දී කුසිනාරා නුවර උපවත්තන සල් උයනේදී අනුපාදිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පා වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.

ආමිස, ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙමින් තම ආධ්‍යාත්මික දියුණුවට නියැලෙන ලෝකවාසී සියලු බෞද්ධයින්ගේ සුවිශේෂ දිනයකි වෙසක් පෝය. එබැවින් මෙම උතුම් දිනයේදී බුදුගුණ සිහිකරමින්, සීල භාවනාදී ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් නිවන් මඟ කරා පියනැගීමට අදිටන් කරගනිමු.

තෙරුවන් සරණයි!